Ads here
340 x 60
Rs. 5000/-
24 Views  
ආරුගම්බේ කූඩාරමක රැයක්
කොළඹ සිට කිලෝ මීටර් 320ක් පමණ දුරකින් නැ‍ෙඟනහිර පළාතේ පහළට වන්නට පිහිටි මුහුදුබඩ නගරයකි ආරුගම්බේ. ආරුගම්බේ නාමය ලොව පුරා ප්‍රචලිතය. ඒ මුහුදු දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව (surfing) සඳහා වඩාත්ම යෝග්‍ය මුහුදු තීරයන්ගෙන් එකක් වීම නිසාය.

දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනින් ආරුගම්බේ වෙරළ තිරය වෙත ඇදී එන්නේ මේ නිසාය. දැන් දැන් දෙශීය සංචාරකයන්ද සර්ෆින් ක්‍රීඩාවට යොමුවෙමින් වින්දනයක් ලබන අයුරු එහි ගිය අපට දැක ගන්නට හැකි විය.

ලොව සර්ෆිං ක්‍රීඩාවට පරසිදු මුහුදු අතර අපේ රටේ ආරුගම්බේ එක්ව තිබීම අපේ රටට සංචාරක ආකර්ෂණය ළඟාකරගන්නට කදිම උත්තේජනයක් වී ඇත.

මේ සුන්දර වෙරළ තීරයේ කුඩාරම් අත්දැකීමක් ලබන්නට පසු ගිය දා අපට අවස්ථාව උදාවිණි.

හිරු අවරට ඇදෙන කාලයේ අපි කුඩාරම් ඉදිකෙරුවෙමු. අහාර හා පාන සකසා ගතිමු. අදුරු රැයේ මුහුදු සුළං රැල් පහස විඳිමින් අපි අහස්තලයේ කිරි සයුර නැරඹුවෙමු.

පසුදින අලුයම නැගෙනහිර අහසේ ක්ෂිතිජයෙන් හිරු කිරණ පොළෝ තලය සිපගන්නා ඒ සොඳුරුම දසුනින් අමන්දානන්දයට පත් වුණෙමු.

ආරුගම්බේ, උල්ල මුහුදු තීරය, එහෙමත් නැත්නම් ආරුගම් බොක්ක. මේ කුමන නමකින් හැඳින්වුවත් අප යන්නේ ඒ ලස්සන වෙරළ තීරයටයි. ස්වභාවයෙන්ම නිසල නැගෙනහිර මුහුදු තීරය තරමක් රළු ස්වාභාවයෙන් අප ළඟට එන සුන්දර ස්ථානයක් තමයි මේ ආරුගම් වෙරළ තීරය කියන්නේ.

යුද්ධය නිමවී සාමයේ උදාවත් සමගම ආරුගම් වෙරළ සංචාරක කර්මාන්තයේ ප්‍රබලම තැනකට පත්ව ඇත. ආරුගම් වෙරළ රමණීයය.

සංචාරකයන්ට දැකගන්නට විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්නට හැකි ස්ථාන රැසක්ම එහි වෙති.

මුහුදු වෙරලට පමණක් නොව, පක්ෂීන්ට, වන සතුන්ට, පුරාවිද්‍යාවට, මත්ස්‍යයන්ට, ජල ක්‍රීඩාවන්ට, කඳවුරු අද්දැකීම් ලබන්නට වගේම නිසන්සල විවේකයට පෙම් බඳින කාටත් එකසේ සිටිය හැකි විඳිය හැකි සැනසිය හැකි තැනක් බවට ආරුගම් වෙරළ තීරය හැදින් වුවහොත් වරදක් නැත.

බොක්කක් ලෙස පිහිටා තිබෙන ආරුගම් වෙරළ තීරය, ශාස්ත්‍රවෙල මුහුදු තීරය ඒ වගේම පානම මුහුදු තීරයත් ඉතා සුන්දර මුහුදු තීරයන් ලෙස ලෝක ප්‍රසිද්ධය.

නිසසලව සිට හිටි ගමන් දැවැන්ත රළක් සේ පෙරළෙන, මේ මුහුදු තීරය සංචාරකයන් අමන්දානන්දයට පත් කරන්නේ සර්ෆින් ක්‍රීඩාව සඳහා ලොව පරසිදු ස්ථානයක් ලෙසිනි.

එය හරිම වෙනස් වගේම සුන්දර අත්දැකීමකි.

සතුන්ට පෙම් බඳින සංචාරකයන්ට ද ආරුගම් බේ කදිම හුවමාරු මධ්‍යස්ථානයකි. ලාහුගල රක්ෂිතයත් කුමන කුරුලු පාරදීසයත් අතර ආරුගම්බේ පිහිටා ඇති නිසා වන සතුන් නැරඹුම් චාරිකාවලට ඇති ඉඩකඩ ඉතා ඉහළය. ලංකාවට එන සංචාරක පක්ෂීන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිශතයක් කුමන රක්ෂිතයේ දී නැරඹිය හැකි අතර ශ්‍රී ලංකා දිවියා ඉතා පහසුවෙන් නැරඹීමට හැකි වීමද විශේෂත්වයකි.

1938 දී පක්ෂි අභය භූමියක් ලෙස නම් කරන ලද කුමන රක්ෂිතය ශ්‍රී ලංකාවේ ප්‍රධානම කුරුලු වාස භූමිය සේම අභිජනන කලාපයක්ද වේ. ඒ වගේම වන අලින් නැරඹීමේ තොතැන්නක් වූ ලාහුගල ජාතික වනෝද්‍යානයද වන සතුන් නැරඹීම සඳහා මාහැඟි තිප්පළකි.

ලාහුගල මහ වැව අසල හා කිතුලාන වැව අසල නිතරම වන අලින් 150ක් 200ක් සැරි සරන බැවින් රජය විසින් වන අලි නැරඹුම් වේදිකාවක් ද මෙහි සකසා ඇත.

ඒ වගේම පුරාවිද්‍යාවට ආදරය කරන සංචාරකයින්ටද ආරුගම් බේ අවට කලාපය ඉතා වැදගත් වන අතර එම කලාපය බෞද්ධ මෙන්ම හින්දු ආගම්වලට සම්බන්ධ නටබුන්වලින් බොහෝ පොහොසත්ය. පොතුවිල් මුහුදු මහ විහාරය මේ අතරින් ප්‍රමුඛ තැනක් ගනී.

කැලණි තිස්ස රජුගේ දියණිය මුහුදට බිලි කර දීමෙන් පසුව පාවී ගොස් නැවත ගොඩ බට සත්‍ය ස්ථානය මේ පොතුවිල් පිහිටි මුහුදු මහ විහාරය ලෙස සැලකේ. අද වනවිට ආගමික අන්තවාදීන්ගේ දැඩි තර්ජනයකට ලක්ව තිබෙන මෙම පුරාණ විහාරය උදෑසන කාලයේදී දර්ශනීයව විරාජමාන වෙයි. ශාස්ත්‍රවෙල විහාරයද කාවන්තිස්ස රජුගේ සහ විහාර මහා දේවියගේ විවාහය සිදු වූවා යැයි සඳහන් මඟුල් මහ විහාරයද මෙහි යන ඔබට නැරඹීමට හැකිය.

ඓතිහාසික කුඩුම්බිගල විහාරයද ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානවලින් මුල් තැනක් ගනී. කාවන්තිස්ස රජුගේ කාලයේදී ඉදි කළා යැයි සම්මත කුඩුම්බිගල ගල් ලෙන් තුළ මහ රහතන් වහන්සේ දොළොස් දහසක් වාසය කළා යැයි ජනප්‍රවාදයේ සඳහන්.

මේ වන විටත් කටාරම් කෙටූ ගල් ලෙන් සියයක් පමණ සොයාගෙන ඇති අතර, අදටත් පනස් නමක් පමණ වෙන භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ මෙහි වැඩ වාසය කරති. හින්දු පුදබිම් අතුරින් ප්‍රධාන වන්නේ ඔකඳ දේවාලයයි.. වසරකට වරක් පාද යාත්‍රාවේ පැමි­‍ෙණන බැතිමතුන් කුමන වනෝද්‍යානය හරහා අවසන් කලාපයට පිවිසෙන්නේ ඔකඳ දේවාලය වැද පුදා ගැනීමෙන් පසුවය. එම නිසා ආරුගම් බේ සංචාරයකදී ඔකඳ දේවාලයත් වෙහෙරකෙම දේවාලයත් වන්දනාමාන කරගත හැකිය.

ශාස්ත්‍රවෙල විහාරයට එපිටින් තිබෙන එලිෆන්ට් රොක් නමින් හදුන්වනු ලබන ගලත් සමඟ එන වෙරළ තීරය සැඩ රළ මත දිය පැන්නුම් (සර්ෆින්) වගේම සුළං ඔරු පැදීම සදහා දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධය. එම ස්ථානය එක් පසෙකින් කලපුවත් අනෙක් පසින් මුහුදත් නිසා බොහෝ දෙස් විදෙස් සංචාරකයෝ කඳවුරු බැඳීම තෝරාගනිති.

මහ පාන්දර යාන්තම් එළිය වැටෙන විට එලිෆන්ට් රොක් මතට නඟින සංචාරකයෝ සොඳුරු සිරි ලකට ඉර පායන අපූරුව නරඹති.

වලාකුළු නොමැති දිනෙක ඉර පායන දර්ශණය කිසිදා අමතක නොවන තරමේ අති චමත්කාර දර්ශනයක් ඔබේ මතක ගොන්නට එක් කර දේවි.

ඉතින් ඔබත් ආරුගම් බේ සංචාරය කරනවානම් ඉහත සඳහන් ස්ථාන නරඹන්නට අමතක නොකරන්න. ඒ වගේම අපෙන් පසු පරපුරටත් එය නැරඹීම සඳහා ඉතිරි කර එන්නට ප්‍රවේශම් වන්න.

ඡායාරූප පමණක් රැගෙන එන්න... පිය සටහන් පමණක් තබා එන්න. මන්ද යත්, රතු ඉන්දියානු නායක සියැට්ල් කියා තිබෙන්නා සේම ‘මේ පරිසර සුන්දරත්වය අපේ වත්කමක් නොව, අනාගත පරපුරෙන් අප ණයට ඉල්ලාගත් වත්කමකි. එය පොළියත් සමඟ ඔවුන්ට ආපසු ලබා දිය යුතුව තිබේ.’ අපද අපේ සුන්දර රට රැකගත යුතුය.

silumina.lk


o