62 Views  
පත්තිනි දෙවොලින් මතුවූ මරද මඩු
අද අසිරිමත් නත්තලයි. ඒ හින්දාම අපි අද දවසේ කතෝලික බැතිමතුන්ගේ මහත් ආකර්ෂණයට හා ගෞරවයට පාත්‍ර වූ මරද මඩු යන්න තීරණය කළා. මරද මඩු හෙවත් මඩු දේවස්ථානය ගැන අසා නැති අයෙක් නැති තරම්. මඩු පල්ලියට ගිහින් මරද මඩු මාතාව වන්දනා කරලා එන අතරේ ඔබ මඩු පල්ලිය ගැන නොදන්න කතා කිහිපයක් කියන්නම්. කොළඹ ඉඳලා යනවා නම් අනුරාධපුරයට ගිහින් එතැනින් මැදවච්චියට ගිහින්. මැදවච්චියෙන් වම් පැත්තට A14 මාර්ගය හෙවත් මැදවච්චිය - මන්නාරම් පාරේ කිලෝමීටර් 48ක් ගියාම මුණගැහෙන මඩු දුම්රිය ස්ථානය අසලින් දකුණු පැත්තට මඩු රක්ෂිත වනාන්තරය හරහා ඔබට මරද මඩු දක්වා යන්නට පුළුවන්.

2016-12-22-ent-09බොහෝ දෙනෙක් නොදන්න කාරණය තමයි මඩු පල්ලිය අද කතෝලික දේවස්ථානයක් වුණාට ඇත්තටම ඒ භූමියේ අතීතයේ තිබිලා තියෙන්නේ පත්තිනි දේවාලයක් කියන එක. ප්‍රදේශයේ සැරිසරලා විස්තර හොයද්දී තමයි එක දැනගන්නට ලැබෙන්නේ. පත්තිනි දෙවියන් වෙනුවෙන් දෙවොල් මඩු ශාන්ති කර්මය කළ නිසාවෙන් "මඩු භූමිය" කියන නමත්, ඒ අවට විශාල වශයෙන් තිබූ මරද නොහොත් මරත ශාඛ නිසාවෙන් "මරද" යන නමත් ලැබී අවසානයේ "මරද මඩු" යන නම හෝ "දෙවොල් මඩු" යන නම මෙම ප්‍රදේශය භාවිතවෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ කෝට්ටේ රාජධානිය පවතින මුල් කාලයේ දකුණු ඉන්දියාව පුරාම මුස්ලිම් අන්තවාදය වේගයෙන් පැතිරී ගිහින් තියෙනවා. ඉන් සිදුවුණ ගැහැට ඉවසාගන්න බැරි නිසා සුල්තාන්වරැන් ප්‍රමුඛ ප්‍රභූ පවුල් පිරිවරාගත් හින්දු ජනතාව විශාල වශයෙන් ලංකාවට ඇවිත්. ඔවුන් තමයි මන්නාරම් මුහුදු තීරයේ පදිංචිවෙලා හින්දු ආගම අදහමින් ජීවත්වෙලා තියෙන්නේ. පස්සේ කාලෙක මෙරටට පැමිණි පෘතුග්‍රීසීන් මේ හින්දු ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයක් කතෝලික ආගමට හරවනවා. එසේ තමන්ගේ ආගම වෙනස් කරන පිරිස ඉතාමත් දරැණු අත්දැකීමකට පස්සේ කාලෙක මුහුණ දෙනවා. ඒ තමයි 1544දි යාපනයේ පාලකයා වුණ සංකිලි නැමැත්තා ආගම වෙනස් කළ 600කට අධික පිරිසක් සමූල ඝාතනය කරනවා. ඉතිරි පිරිස කැලෑ වදින්නේ මරියතුමියගේ පිළිමයක් අරගෙන. තමන්ගේ ක්‍රමයට මේ මරියතුමියගේ පිළිමය සාරියක් අන්දවා ඊට වත්පිලිවෙත් කරමින් මේ පිරිස මහ කැලේ මැද ජීවිතය පවත්වා ගන්නවා.

සංකිලි සමඟ එකතු වෙන ලංදේසීන් තව තවත් කතෝලිකයින් ඝාතනය කරනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් තමන් සොයා ඝාතනය කරන්නට පිරිස් තනන බව දැනගත්තට පස්සේ තමන්ගේ කතෝලික පියතුමා වුණ "කණ්ණාඩි ස්වාමි" හෙවත් පෙද්‍රෝ පියතුමන් මේ මරද මඩු පිළිමයත් වඩමවාගෙන සිංහල රජුගේ ආරක්ෂාව ඉල්ලා රට ඇතුළට එන්නට පිටත් වෙනවා. මේ පිරිස ලන්දේසීන්ට හසුනොවනු පිණිස කැලෑ මාර්ගවලින් වනසතුන් ගෙන් බේරී නුවර රාජධානියට යන අතරතුරේ එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අද්දර නවතිනවා. එහි සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්ථානයක් තිබුණාලු. පස්සේ බදු නිලධාරියාගේ උදව්ද ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරැව වඩා හිඳුවා ගෙන එහි පදිංචිවෙලා තියෙන්නේ අර සිංහල නිලධාරියාගේ ආරක්ෂාව යටතේ. මේ තමයි අර උඩ කිව්ව මරද මඩු ගමගතව කතාවක් තියෙනවා මරද මඩු යනු කුඹුක් වැව යන අර්ථයෙන් කියනවා කියලත්.

වැව අද්දර කුඩා දේවස්ථානයේ මොවුන් මෙසේ සිටින අතර යාපනයේ සංකිලි රජුගෙන් බේරී පලා ආ තවත් කතෝලිකයින් 700 දෙදෙනෙක් ද මේ මාර්ගයේ අවුදින් ඔවුන්ට එකතු වෙනවා. මේ පිරිසට නායකත්වය දී ඇත්තේ හෙලේනා නම් වූ පෘතුගීසි තරැණියක්. ඇය පෘතුගීසි සෙන්පතියකුගේ දියණියක කියලා තමයි පොත පතේ තියෙන්නේ. මඩු ගම්මානයේ දී හෙලේනා තරැණිය ටිකක් කපටි වෙනවා. ඇය කරන්නේ තම ආගමේ නාමයෙන් අර කිව්ව බදු නිලධාරියා සමඟ විවාහවීම. පස්සේ බදු නිලධාරියාගේද අනුදැනුම මත වනය හෙළිකොට නව ගම්මානයක් විශාල වශයෙන් තනාගෙන ඔවුන් එහිම නවතිනවා. බදු නිලධාරියෙකු මෙන්ම සිංහල සෙනෙවියෙකු ද වූ පුරැෂයා සමඟ විවාහ වූ පසු හෙලේනාට පැවැරැන රාජකාරිය වුණේ මඩු දේවස්ථානය හොඳින් නිමවීම. ඇය ස්ථිර ගොඩනැඟිල්ලක් තනවා දේවමාතා පිළිරැව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකරන්නට කටයුතු කරනවා. මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එයයි.

ඉන්පසු මඩු මාතාවන් තමන්ගේ පිහිට පතා එන වන්දනාකරැවන්ට පිහිට වන්නට පටන් ගන්නවා. එකල වනසතුන් අලින් වලසුන් ගෙන් ගහණ මේ වනගත ප්‍රදේශය හරහා යන එන වෙළෙන්දන් මගියන්ට සිදුවුණු උවදුරැවලදී මඩු මාතාවගේ පිහිට යැදීමෙන් පසු ඒවා දුරැ වූ බව විශ්වාස කරනවා. රෝග පීඩාදිය ඇතිවූ අවස්ථාවේදී මඩු මාතාවන්ට කන්නලව් කිරීමෙන් ලද සහන වැඩියි කියලත් ඔවුන් සිතනවා. මේ නිසා මඩු පල්ලියේ යශෝරාවය ශ්‍රී ලංකාව දස දෙස පැතිරෙන්නට වූයෙන් වර්ෂයක් පාසා අගෝස්තු මස පවත්වන මඩු මංගල්‍යයට දස දෙසින් වන්දනාකරැවෝ එන්නට පටන් ගන්නේ ඒ නිසයි. මෙසේ ජනී ජනයා අතර ප්‍රචලිත වූ මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් වඩා විශාල මැදුරක් තනවන්නට කටයුතු කරනවා. ඒ අනුව ලංකාවට පැමිණ ජුසේවාස් පියතුමා ද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසෙනවා. අපි දකින මේ මඩු දේවස්ථානය 1872 දී තනා නිමකළ එකක්. එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරද තනතුරට පත් බොන්වින් නමැති පියතුමාය.

- ප්‍රසාද් - 

saaravita.lk


o