175 Views  
කොළඹ දිස්ත්‍රික්කයේ සැඟවී ගලා හැලෙන දියකොමලියෝ
අවිවේකී ජීවිතවලට කෙටි විවේකයක් ලැබුණු විට බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ එකී විවේකය උපරිම ලෙස භුක්ති විඳීමටය. නමුත් එම නිදහස භුක්ති විඳීමට ‍බොහෝ විට තෝරාගනු ලබන්නේ කෘත්‍රිමව නිර්මාණය කළ පරිසරයකට මැදිව කොන්ක්‍රීට් කණු මත ඉදිවූ සංචාරක නිකේතනයි. නමුත් අපට අවශ්‍ය සතුට හෝ විවේකය සොබාව දහමට අනුගතව වඩාත් යහමින් ලබාගත හැකි බව අපගේ හැඟීමය. මෙවර "තරුණයා" සංචාරය තුළින් ඔබව රැගෙන යන්නේ ගතත් සිතත් එකලෙස පුබුදුවා ගතහැකි සතුට, නිදහස උපරිමයෙන් භුක්තිවිඳිය හැකි ඉසව්වක් වෙතය.

කොළඹ නගරයේ වාසය කරන බොහෝ දෙනෙකුට දියඇල්ලක් නැරඹීමට ආරාධනා කළොත්, ඔවුන්ගේ මනසේ මැවෙන්නේ පැය 5,6ක් වාහනයක ගොස් නැරඹිය හැකි දුර ඈතක පිහිටා තිබෙන දියඇල්ලක් වෙතය. නමුත්, කොළඹ සිට පැයකටත් වඩා අඩු කාලයකින් ළඟාවිය හැකි දියඇලි ගොන්නක් කොළඹ දිස්ත්‍රික්කය තුළම පිහිටා තිබෙන බව ඔබ දන්නවාද?

එම දියඇළි පිහිටා තිබෙන්නේ කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කිරීමේදී හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය පසුකර ඉදිරියට එනවිට දකුණු දෙසට දිවෙන තුම්මෝදර මාර්ගයේදීය.

තුම්මෝදර මාර්ගය ආරම්භයේ සිටම වෙනස් මුහුණුවරක් ගනියි. මාර්ග තදබදය ඔස්සේ ප්‍රධාන මාර්ගයේදී විඳීමට සිදුවන සියලුම අමිහිරි සිදුවීම්, එම මාර්ගයේ ටික දුරක් යනවිට වියැකී යයි. එය එසේ වන්නේ එම මාර්ගය දෙපසින් පිහිටා තිබෙන අලංකාර පරිසරය නිසාය. එම පරිසර පද්ධතිය මගින් මාර්ගයේ ගමන් ගන්නා අයට අමුතුම සිසිලසක් සහ ඇසට මිහිරක් උපදවයි. වාහන දෙකකට අපහසුවකින් තොරව මාරුවිය හැකි ආකාරයට තාරදමා මනාව සකස් කර තිබෙන එම මාර්ගයේ කිලෝමීටර් 2.5ක් ගමන් කළ විට නිහඬව, නිසලව ගලා බසින "කුමාරි ඇල්ල" හමුවෙයි.

කුමාරි ඇල්ල

කුමාරි ඇල්ලට පිවිසෙන පිවිසුම් මාර්ගය පිහිටා තිබෙන්නේ පුවක්පිටියේ දුම්රිය ස්ථානයේ සිට තුම්මෝදර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමන් කරන විට වම්අත දෙසට දිවෙන හේවායින්න මාර්ගයේය. අප එහි යනවිට පාරට තාරදමා, ඒ මතට ගල් අතුරා පිළිවෙළකට සකසා තිබුණි. මින් මසකට පමණ ඉහතදී එම මාර්ගය පැවතියේ ගමනාගමනයට නොසුදුසු තත්ත්වයකය. එම මාර්ගය ඔස්සේ මීටර් 400ක් පමණ ගමන් කළ විට "කුමාරි ඇල්ල" යනුවෙන් නම්කර තිබෙන නාම පුවරුවක් හමුවෙයි. එම නාම පුවරුව තිබෙන ස්ථානයේ වාහන නවතා තැබීමටද පහසුකම් සලසා ඇත. ඒ සඳහා මේ වනතෙක්නම් කිසිදු මුදලක් අය නොකරන බවද කිව යුතුය.

ඇල්ල පිහිටා තිබෙන්ෙන් මාර්ගයේ පහළට වන්නටය. අපිළිවෙළට සකසා තිබෙන අඩිපාර දිගේ පහළට ගමන් කළ පසු ගල්තලාවක් මතින් පෙනපිඬු නංවමින් ගලායන "කුමාරි ඇල්ල" අපට දර්ශනය වේ.

මෙම ඇල්ලට "කුමාරි ඇල්ල" යන නම පටබැඳී ඇත්තේ සීතාවක රාජධානිය ක්‍රි.ව.1581 සිට 1593 දක්වා පාලනය කළ සීතාවක රාජසිංහ රජුගේ දියණියක වූ "කුමාරි" නම් කුමාරිකාව මෙම ස්ථානයේ දියේ ගිලී මියගොස් ඇති නිසා බව ගම්මු පවසති. එහි කෙතරම් දුරට සත්‍යතාවක් තිබේද යන්න හරිහැටි පැවසිය නොහැකිය.

අප එහි යනවිට මේ දිනවල පවතින නියං සහිත කාලගුණික තත්ත්වය නිසා ඇල්ලේ ජල තත්ත්වය පහත බැස තිබුණි. විශාල ගල් තලාවක් මතින් වෙනදාට තේජාන්විත ලෙස ගලාබසින ඇයගේ ගමන් මාර්ගය ජලය හිඟකමින් බාලවී තිබුණි. ගල්තලාවෙන් ගලාබසින ජලකඳ වැටෙන ස්ථානය හඳුන්වනු ලබන්නේ "කුමාරි වළ" යනුවෙනි. ගම්මුන් පවසන ආකාරයට නම් එම ස්ථානයේ දියනෑම එතරම් උචිත නොවෙයි. මන්ද එම ස්ථානයේ ජීවිත බිලිගෙන ඇති නිසාෙවනි. ජලයේ තත්ත්වය බලා ජලයට බසිනවාද, නැද්ද යන තීරණය ඇත්තේ ඔබ අතේය. උදෑසන ආහාර ගැනීමට, ගීතයක් ගයා විනෝදවීමට මෙම ස්ථාන වඩාත් උචිතය.

අපි කුමාරි ඇල්ලෙන් නික්ම, නැවතත් ප්‍රධාන මාර්ගයට පිවිස තවත් කිලෝමීටර් 2.5ක් පමණ ඉදිරියට ගමන් කළෙමු. එම ගමනේදී අපට ශ්‍රී ලංකාවේ ඉදිකොට තිබෙන උද්භිත උද්‍යාන 05 අතරින්, අවසානයට ඉදිකළ සීතාවක උද්භිත උද්‍යානය හමුවිය. අපි එම ඉසව්ව පිළිබඳව මීට පෙර ඔබ ෙවත ගෙන ආවෙමු.

ඔබට අවශ්‍යනම් ඔබගේ සංචාරයේ මිහිර තව තවත් විඳගැනීම සඳහා එම උද්‍යානයේද සංචාරයක නියුතු වීමට හැකිය.

උද්‍යානයේ පිවිසුම් දොරටුව පසුකරමින් ඉදිරියට යනවිට ඉළුක්ඕවිට හන්දියෙන් වම්අත දෙසට වැටී තිබෙන මාර්ගයේ "ඇල්ල ශ්‍රී සම්බෝධිරාජාරාමය^ යනුවෙන් නම් කර තිබෙන පුවරුව අසලින්) ඉදිරියට ගමන් කරන විට අපගේ මීළඟ ගමනාන්තය හමුවුණි. කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගයේ මීටර් 600ක් පමණ ගමන් කළ පසු එම ස්ථානයට ළඟාවිය හැක. එම මාර්ගයේ මීටර් 300ක දුරක් අධික නැග්මක් සහිතව ගමන් කිරීමට තිබෙන හෙයින් ඒ සඳහා යෝග්‍ය වාහනයක් භාවිත කරන්නේ නම් වඩාත් අගනේය

ඇල්ල උඩ ඇල්ල

මෙම දියඇල්ලට පිවිසීමට ඇත්තේ පිළිවෙළක් නොමැතිව සැකසුණු අඩිපාරකිනි. එය වැටී තිබෙන්නේ නිවෙස් උඩින් බැවින් නිවැසියන්ට හිරිහැරයක් නොවන අයුරින් හැසිරීමට ඔබ වගබලාගත යුතුය. මෙම ඇල්ල දෙස බැලීමේදී මෙයට නම පටබැඳී තිබෙන්නේ කෙසේද යන්න ඕනෑම අයෙකුට තේරුම්ගත හැකිය. එම දියඇල්ල කොටස් දෙකකින් යුක්තවීම නිසා මේ නම පටබැඳී තිබෙන බව ගම්වාසීහු පවසති. මෙය "මිනුවන්විල ඇල්ල" යනුවෙන්ද හඳුන්වයි. මෙම ස්ථානය තවම සංචාරකයන් අතර ප්‍රසිද්ධ නොවන බැවින් එතරම් සංචාරකයන් නොපැමිණෙන බවද ගම්වාසීහු පවසති.

නමුත්, මෙය කුමාරි ඇල්ලට වඩා අලංකාර ලෙස ගලා බසියි. මෙම ඇලේලේ උස නිශ්චිත ලෙස ගණන් බලා නොමැති වුවත් බැලූ බැල්මට මෙහි උස අඩි 15-20 අතර බව පෙනෙයි. මෙම ඇල්ලේ පහළට ගමන් කරන්නේ නම් ඇල්ල දෙපස තිබෙන ගල්තලාව දිගේ ගමන් කළ හැකිය. මෙහි ස්නානය කිරීමට තරම් පහසු ස්ථාන නොමැත. මේ දිනවල වර්ෂාව නොමැති නිසා ගල්තලාව ඔස්සේ ඇදහැලෙන දියදහරාව වැටී නිර්මාණය වූ ජලතටාකයෙන් දියනෑ හැකිය. නමුත් වර්ෂා කාලයේදී ඇල්ල පාමුලට ගමන් කිරීම අසීරු නිසාත්, තටාකයේ ගැඹුර හරි හැටි නිශ්චය කිරීමට නොහැකි නිසාත් දියනෑමට නොහැක. නමුත් පෙම්වතුන්ට නිදහසේ පෙම්සුව විඳීමටත්, අලංකාර ඡායාරූප ගැනීමටත් මෙම ස්ථානය වඩාත් උචිතය.

තරුණයන්ට විනෝදවීමට, ගීත ගායනා කිරීමට ගම්වාසීන්ගෙන් තහනමක් නොමැති වුවත්, ඔවුන්ට බාධා නොවන අයුරින් එය සිදුකළ යුතුය.

එම ස්ථානයෙන් නික්ම ඉලුක්ඕවිට හංදියට පිවිසුනු අපි නැවතත් ප්‍රධාන මාර්ගය ඔස්සේ තුම්මෝදර දෙසට ගමන් කළෙමු. ඒ යන අතරවාරයේ දියනෑමට සහ කාබී විනෝද වීම සඳහා මාර්ගයට සමාන්තරව ගලා බසින දිය පහරේ අලංකර ස්ථාන රාශියක් ස්වභාවිකවම පිහිටා ඇති අයුරු අපට දැකගත හැකි විය.

හොඳින් තාර දමා සකස් කර තිබෙන මාර්ගයේ මීටර් 03ක් පමණ ගමන් කළ පසු වම්අත දෙසට වැටී තිබෙන පඥ්ඥාගුල මාර්ගය හමුවේ. එම මාර්ගයේ මීටර් 500ක් පමණ ගමන් කළ පසු අපගේ මීළඟ ගමනාන්තය හමුවිය.

රන්මුදු ඇල්ල

ගමන් කරන වාහනය පාර අයිනේ නවතා, හල්පේ වතුයායට අයත් රබර් යාය මධ්‍ය‘යෙන් මාර්ගයට පහළින් පිහිටා තිබෙන රන්මුදු ඇල්ලට පිවිසිය හැක. මෙයත් කොටස් දෙකකින් යුක්තය. එහි ඉහළ කොටස වෙන්කර තිබෙන්නේ බීමට ගන්නා ජලය සඳහා පමණකි. එම කොටස ඔස්සේ අවට පිහිටා තිබෙන නිවෙස් ගණනාවකට පානීය ජලය සපයයි. එම නිසා එම කොටස අපවිත්‍ර නොකිරීමට වගබලාගත යුතුය. මෙහි දිය නෑමට සහ විනෝද වීමට නම් මාර්ගයේ සිට ඇල්ලෙන් එගොඩවීමට දමා තිබෙන පාලමට පහළ කොටසට යා යුතුය. අලංකාර ලෙස ස්වභාවිකවම පිහිටා තිබෙන ගල්තලාවන්ගෙන් සහ විශාල වෘක්ෂයන්ගෙන් මෙය වටවී තිබෙන අතර, මෙහි උස මීටර් 15ක් පමණ වෙයි. මෙම ඇල්ලටද අතීත කතාවක් තිබේ.

එයටත් මූලික වන්නේ රාජසිංහ රජුගේ පාලන සමයයි. එම පාලන සමයේදී රජුගේ අන්තඃපුර බිසෝවරුන් දියනෑමට මෙම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී එක් බිසවකගේ රන් මුදුවක් දියනෑමේදී මෙම ස්ථානයට වැටී සැඟවීගොස් ඇති නිසා මෙම ස්ථානය "රන්මුදු ඇල්ල" යනුවෙන් හඳුන්වනු ලබන බව ගම්වාසීහු පවසති.

වක් ගඟට එක්වන මෙම ඇල්ල නිර්මාණය වන්නේ කලටුවාව රක්ෂිතයෙන් ඇරඹෙන බිසෝවක ඇල්ලෙනි. මෙය දියනෑම සඳහා වඩාත් උචිතය. පිරිසිදු ජලයෙන් සුසැදි දියනෑමට හැකි ස්ථාන රාශියක් මෙහි පවතී. එමෙන්ම කා බී විනෝද වීමට, නැටීමට, ගැයීමට කාගේවත් තහනමක් නොමැත. එම නිසා ලොකු කුඩා කාහටත් එකලෙස විනෝද වීමට හැකි ඉසව්වක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය.

අපගේ ගමන මින් නිමා කිරීමට සිදුවුවත් මෙම ඇල්ලෙන් නික්ම, ප්‍රධාන මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර් 03ක් පමණ ගමන් කරන විට හමුවන තුම්මෝදර හන්දියෙන් හැරී ලබුගම ෙදසට කිලෝමීටර් 02ක් පමණ ගමන් කිරීමේදී, උසින් මීටර් 10ක් පමණ වන දම්බොර ඇල්ලට පිවිසිය හැක. අප සංචාරයේ නියුතු වනවිට මේ පිළිබඳව දැනුම්වත් වීමකින් නොසිටි නිසා එහි ඡායාරූප ගැනීමට නොහැකි විය. නමුත් රන්මුදු ඇල්ලෙන් ලබාගැනීමට හැකිවන සියලුම අත්දැකීම් එහිදීද ලබාගැනීමට හැකිබව ඒ පිළිබඳව සොයා බැලීමේදී අපට දැනගැනීමට හැකිවිය.

අප ගමන් කළ සියලුම දියඇලි වෙත නිරන්තරයෙන් ඇදී එන සංචාරකයන් එම ළලනාවියන්ගේ අලංකාරයට කැළැල් එකතු කර තිබේ. ඔවුන් ගෙන එන ආහාර බහාලන පොලිතීන් බෑග්, ආහාර අසුරන, කාඩ්බෝඩ් අසුරන, මීවිත බෝතල්, ප්ලාස්ටික් බෝතල්, තැනින් තැන දමා පරිසරයේ සුන්දරත්වය විනාශ කර තිබේ. කැළිකසළ බැහැර කිරීම සඳහා ස්ථාන වෙන්කර තිබුණත්, ඒවා තැන තැන දමන්නේ මන්ද යන්න ගැටලුවකි.

නමුත් එම ස්ථානවල අවට පරිසරය රැකගැනීම සඳහා ඔබගේ දායකත්වය ලබාදෙන්නේ නම් අනාගත පරපුරටද මෙම ස්ථාන සංරක්ෂණය කර දායාද කිරීමට අවකාශය සැලසෙනු ඇත.

එම නිසා තමන්ගෙ විනෝදය ගැන පමණක් නොසිතා, අනාගතය පිළිබඳවද අවධානය යොමුකළහොත් තවත් කල්ප ගණනාවකට මෙම ස්ථාන මෙලසම රැකෙනු ඇත.



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks
o