97 Views  
කල්පිටියේ සැඟවුණු ලන්දේසි බළකොටුව

යාළුවොත් එක්ක එකතු වෙලා රට වටේ යන්න තියෙනවනම්, තරුණයන්ට ඊට වඩා දෙයක් නැතිව ඇති. හැබැයි මෙහෙම ගමනක් යද්දි ගෙදරින් වගේම පෙම්වතිය අහන ප්‍රශ්නවලට උත්තර ගැට ගහන එක මේ හැමදේටම වැඩිය අමාරුයි. එත් මේ තරුණ කාලේ ඇවිඳින්නෙ නැතිව හැරමිටියෙන් යන කාලේ ඇවිඳින්නද? ඒ නිසයි තරුණ කාලේ ජීවිතේ සතුටින් ගෙවන්න ඕන‘. එහෙම වුණාම ජීවිතේ ඇරියස් නැහැ. ඉතිං එහෙම ඇරියස් තියාගන්න අකමැති ඔබට පුංචි හෝඩුවාවක් දෙන්නයි මේ සූදානම.

2017-05-12-ent-109ඔබත් කල්පිටිය පැත්තෙ සංචාරය කරන්න අදහසක් තියෙනවා නම්, ගොඩක් අය කියයි ඩොල්ෆින්ලා බලන්න යන්න, කයිට් සර්ෆින් ( Kite surfing) යන්න කියලා. ඒත් මේ කියන්න යන්නෙ ඒ හැමදේටම වඩා වෙනස් තැනක් ගැනයි. ඒ කල්පිටිය ලන්දේසි බළකොටුව ගැනයි. මේ බළකොටුව ගොඩක් පැරැණි බළකොටුවක්. ඒ නිසා බො‍හෝ දෙනෙක්ගෙ ඇහැගැටෙන්නෙ නැහැ. ඒත් ඒ තැන හරිම පුදුමාකාර තැනක්. ඒ වගේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයක් ලංකාවේ කිසිම බළකොටුවක නැහැ. බොහෝ දෙනෙක් දැකලා තියෙන්නෙ ගාලු කොටුවනෙ. ඒත් ඔබට මේ කල්පිටියෙ ලන්දේසි බළකොටුවට පැමිණියොත්, පුදුම හිතෙයි. ඒ වගේම ලස්සනයි. ඉතිං මේ හෝඩුවාව කල්පිටි යන්න හිතන් ඉන්න ඔබටයි.

ඈත අතීතයේ පටන්ම රාජ්‍ය පාලනයේදී රාජ්‍ය බලය තහවුරු කර ගැනීම මෙන්ම ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වුණා. මේ නිසා කලින් කලට ඇති වන විදේශ ආක්‍රමණ හා රට අභ්‍යන්තරය තුළ සිදුවන කැරළි කෝලාහලවලින් රාජ්‍ය බලය ආරක්ෂාකර ගැනීමට විවිධ වූ ක්‍රම අනුගමනය කරන්න සිදු වුණා.

රට ආරක්ෂා කර ගැනීමට හමුදාවක් අවශ්‍ය වුණා. ඒ වගේම සතුරු උවදුරු ඉක්මනින් හඳුනා ගැනීමටත්, සංවිධානගත වී සතුරාට පහර දීමටත් බළකොටු ඉදිකිරීමේ අවශ්‍යතාව පැන නැගුණා.

පෙර රජවරුන්ගේ සිට 16 වැනි සියවසේ පටන් අප රටට පැමිණි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන්ද තම බලය ආරක්ෂාකර ගැනීමට මෙරට බළකොටු රැසක් ඉදිකළා. අද ඒවා සියල්ල නටඹුන් බවට පත්වෙලා තිබෙනවා.

මෙසේ ඉදිකළ බළකොටු අතරින් බොහෝ දෙනෙක් දන්නේ ජනප්‍රිය බළකොටු කිහිපයක් පමණයි. ඒ අතර ගාලු කොටුව, මාතර ලන්දේසි බළකොටුව, මාතර තාරකා කොටුව, කොළඹ ඕලන්ද කොටුව, යාපනය කොටුව, ත්‍රිකුණාමලය ෆෙඩ්රික් කොටුව අපි කා අතරත් ජනප්‍රියයි. නමුත් එසේ ජනප්‍රිය නොවූ සහ බොහෝ පිරිසක් නොදන්නා බළකොටුද තිබෙනවා. එසේ වැඩි කතාබහට ලක් නොවුණු බළකොටුවක් ලෙස කල්පිටිය ඕලන්ද බළකොටුව හඳුන්වන්න පුළුවන්.

පෘතුගීසීන්ගේ පාලනයට නතුව තිබූ කල්පිටිය ප්‍ර‘දේශය වර්ෂ 1644දී ලන්දේසීන්ගේ යටතට පත්වුණා. අනතුරුව වැදගත් වෙළෙඳ නගරයක් වූ කල්පිටිය, ලන්දේසි ගෘහනිර්මාණ ශිල්පයට අනුව ලන්දේසීන් විසින් නැවත ගොඩනැඟුවා. මේ වෙළෙඳ නගරයේ ආරක්ෂාව සඳහා වර්ෂ 1606දී කල්පිටිය බළකොටුව ඉදිකළා. ගලින් නිමවා ඇති මේ බළකොටුව ඉදිකිරීමට හිරිගල්, කොරල්, මී ඉටි සහ මී ලාටු යොදාගැනීම විශේෂත්වයක්. ඒ වගේ ක්‍රම යොදාගෙන ඇත්තේ වඩා ශක්තිමත් කර ගැනීමටය.

ගලින් නිමවා ඇති මෙම බළකොටුවේ ප්‍ර‘වේශ දොරටුව ආරුක්කු හැඩයක් ගන්නවා. ඒ දොරටුවෙන් ඇතුළු වුණාම පිවිසෙන්නේ මිදුලකට. ඒ මැද මිදුලෙ එක් පසක සේවා නිවාස ඉදිකර තිබෙනවා.

18 වැනි සියවස අවසාන කාලසීමාව වනවිට ඉන්දියන් සාගරයේ බලය ලන්දේසීන්ගෙන් ගිලිහී ඉංග්‍රීසින් අතට පත්වුණා. වර්ෂ 1795දී නාගපට්ටම් සිට පැමිණි ඉංග්‍රීසි හමුදා කල්පිටියේ වෙරළ ආසන්නයේ රැකවල්ලා සිටියා. එයින් පසුවයි කිවි ගිවිසුම් උපදෙස් අනුව මේ බළකොටුව ඉංග්‍රීසි හමුදා වෙත භාරදී තිබෙන්නේ.

කල්පිටිය කොටුව ඉදිකර තිබෙන්නේ මුලින්ම පෘතුගීසීන් අල්ලාගෙන සිටි තැනක. එහි ක්‍රිස්තියානි නිකායික දේවස්ථානයක් හා සිවිල් ජනාවාසයක් තිබිලා තියෙනවා.

ලන්දේසීන් යාපනයේ තිබුණ පෘතුගීසීන් සතු අවසාන බළකොටුව අල්ලා ගත්තට පසුව රටේ වෙළෙඳාම පාලනය කිරීමේ අරමුණෙන් කල්පිටියේ බළකොටුව ඉදිකරන්න පියවර ගෙන තිබෙනවා. එය ඔවුන් ඉදිකළේ එතැන වූ පැරැණි පෘතුගීසි දේවස්ථායට මැදිවෙන්නටය.

මේ බළකොටුව ගෘහ නිර්මාණයෙහි සුවිශේෂත්වයන් සමුදායක් තියෙනවා. ඉන් එක් විශේෂත්වයක් ලෙස බළකොටුව නිර්මාණය කර තිබෙන දේවස්ථානයක හැඩය සැලකිය හැක. එයට ප්‍රධාන හේතුව බළකොටුවක් ඉදිකිරීම සම්බන්ධව සිංහල රජුගෙන් තිබූ විරෝධය. මෙය බළකොටුවක් විදියට පවත්වාගෙන යන බව වසං කිරීමට මේ උපක්‍රම යොදාගෙන තිබෙනවා.

මේ බළකොටුවට ඇතුළුවෙන ස්ථානයේ පැරැණි අතිවිශාල ලී දොරටුවක් තිබෙනවා, එය කුඹුක් ලීයෙන් කළ නිර්මාණයක්. එම දොරටුවේ මෙම බළකොටුව ඉදිකළ කාල සටහන්ව තිබෙන්නේ මෙන්න මේ විදියටය.

MDCCLIX = 1759 ලෙසය. %ක්‍රිස්තු වර්ෂ^ යන්න, ANNODOMINI ලෙස සටහන් කර තිබෙනවා.

මෙම බළකොටුව හතර පැත්තක් සහිත හතර මුදු සහිත ප්‍රහාරක බළකොටුවක් අයුරින් ඉදිකර තිබෙනවා. එහෙත් එහි නැගෙනහිර දොරටුවේ අමුතු වෙනසක් දකින්න තිබෙනවා. මෙහි ප්‍රහාරක කුටි හා කාලතුවක්කු සිදුරු සකස් කර තිබෙන්නේ කිසිදු සතුරෙකුට කොටුවේ කිසිදු බිත්තියකින් කොටුව තුළ ඉන්න කවරෙකුට හෝ නොපෙනී නැගීමට නොහැකි වන විදියට. යමෙකු කොටු පවුරට නැගුණහොත් ඔහු එහි සවිකර තිබෙන කාලතුවක්කු ප්‍රහාරයකට නිසැකවම ගොදුරු වන අයුරිනි.

ඒ වගේම මෙහි නැරඹුම් කුටි ඉදිකර තිබෙනවා. ඒවා දහවල් කාලයේ සිසිලසක් තිබෙන අතර, රාත්‍රී කාලයේ උණුසුමක් දැනෙන ලෙස නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්.

ඒ වගේම පිටතින් සතුරාගෙන් එල්ල වන කාලතුවක්කු ප්‍රහාරවලින් ආයුධ ගබඩාව ආරක්ෂා කිරීමට, සතුරා නොමග යවන ආකාරයට මෙහි ඉදිකිරීම් සිදුකර තිබෙනවා.

මෙම බළකොටුවෙහි යුද අධිකරණයක්, රැස්වීම් ශාලාවක්, සිරකුටි සහ වෙඩි බෙහෙත් ගබඩා තිබෙනවා. බළකොටුව මධ්‍ය‘යේ යුද පුහුණු කිරීම් සඳහා පිට්ටනියක්ද තිබෙනවා.

ඒ වගේම මෙම බළකොටුව යටින් උමං මාර්ගයක් පවතිවා. එය අසල ඇති දේවස්ථානයටත්, හැමිල්ටන් ඇළ දක්වාත් විහිදෙනවා. මේ උමං මාර්ගය යොදාගෙන තිබෙන්නේ හැමිල්ටන් ඇළ මාර්ගයේ සිට යුද උපකරණ සහ භාණ්ඩ හොර රහසේ ප්‍රවාහනය කිරීමටය.

මේ බළකොටුව වර්තමානයේ පවතින්නේ කල්පිටිය නාවික හමුදා කඳවුර යටතේය. බළකොටුව නැරඹීම සඳහා කල්තබා දැනුම්දීමක් කර අවසර ගන්නවා නම් වඩාත් හොඳයි. නමුත් හතර පස් දෙනෙකු වැනි සුළු පිරිසකට නම් ඒ මොහොතේ වුණත් කඳවුරේ ඇති සම්බන්ධීකරණ කාර්යාලයෙන් අවසර ලබාගන්න පුළුවන්.

මේ බළකොටුව වර්තමානය වනවිට ශීඝ්‍ර‘යෙන් විනාශ වීගෙන යනවා. නමුත්, ඒ සඳහා කිසිඳු විසඳුමක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අරගෙන නොමැති බව නාවික හමුදා කඳවුරෙන් පැවසුවා.

පසුගිය වැසි කාලයේ බළකොටුව ඇතුළේ පිහිටි දේවස්ථානය කඩාවැටී විනාශ වී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව තමා මේවා ආරක්ෂා කරන්න කිසිම පිළියමක් යොදා නැති නිසයි. ඒ නිසා මෙවැනි පෞරාණික නටඹුන් ආරක්ෂා කිරීමට කඩිනමින් පිළියම් ගන්න ඕන. එහෙම නොවුණහොත් අනාගත පරපුරට මේවා දැකබලා ගැනීමේ හැකියාව වැළලීලා යනවා. ඒ නිසා මේ සම්බන්ධව බලධාරීන්ගේ සහ මේ පුරාවිද්‍යා ආයතනයන්හි අවධානය යොමු වීම ඉතා වැදගත්.

දැන් ඔබට නොඉවසිල්ලක් නැතිව ඇති මේ තැන මොන වගේද කියලා බලන්න. ඒ නිසයි මේ විස්තර %තරුණයා^ අප ඔබට කියන්න තීරණය කළේ.

 saaravita.lk




o