114 Views  
විවේකයක් ලද මොහොතක ‘කදුරුකෙතට’ ඇවිත් යන්න
සොබාදමයි - ගැමි දිවියයි එක විට අත්විඳ බලන්න

නොඉඳුල් ගැමි සුවඳ විහිදෙන සැබෑ ගම්බද සිරිය විඳගන්න රිසින් සංචාරයක නියැළෙන ඔබේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සපුරන අපූරු සංචාරක නිවාසයක්. පසුගියදා අපට හමු වුණා. ජෙට්වින් හෝටල් සමූහයට අලුතින්ම එක්වුණු එය ‘ජෙට්වින් කදුරුකෙත’ සංචාරක නිවහනයි.

සොබා දහමට ආදරය කරන පරිසර ලෝලී සංචාරකයන් වෙනුවෙන්ම ඉදිකරන ලද කදුරුකෙත සංචාරක නිවහන පිහිටා තිබෙන්නේ වැල්ලවාය නගරයේ සිට කිලෝමීටර 2 1/2ක් දුරින්. කොළඹ සිට මාර්ග තුනකින් පැය හතරක් වැනි කාලයක් තුළ කදුරුකෙත නිවහනට ළඟා වෙන්නට පුළුවන්. අගනුවර සිට ඔබ එහි යනවානම් කොළඹ රත්නපුර මාර්ගයේ උඩවලව තණමල්විල හරහා වැල්ලවායට ළඟාවෙන්නට පුළුවන්. නැතිනම් කොළඹ රත්නපුර, බලංගොඩ, බෙරගල හා කොස්ලන්ද හරහා වැල්ලවායට ළඟා වෙන්නට පුළුවන්. දක්ෂිණ අධිවේගී මාර්ගයෙහි පැමිණෙන්නකුට මාතර සිට තංගල්ල හම්බන්තොට හරහා වැල්ලවායට ළඟාවෙන්නටත් පුළුවන්. වැල්ලවාය නගරයේ සිට මොනරාගල පාරේ කිලෝමීටර් 2 1/2ක් දුර පැමිණ මල්වත්තාවල හන්දියෙන් වමට හැරී අලුත් මාවතේ කිලෝමීටර දෙකක් පැමිණි පසුව ප්‍රධාන පාරේ සිට මීටර 270ක දුරින් කදුරුකෙත නිවහන පිහිටා තිබෙනවා.

දිගු ඉතිහාසයකට උරුමකම් කියන කදුරුගමුව පරම්පරාවට අයත්ව තිබූ කදුරුගමුව වලව්ව 2015 වසරේ අග භාගයේදී ජෙට්වින් සංචාරක සමාගම විසින් මිලදී ගනු ලදුව මෙලෙස එය සුන්දර සංචාරක නිවහනක් බවට පරිවර්තනය කර තිබෙනවා. ග්‍රාමීය පරිසරයක මිහිර විඳගෙන සැනසිල්ලේ නිවාඩුවක් ගත කරන්නට රිසි සංචාරකයන් හා කෘෂිකාර්මික සංචරණය ප්‍රිය කරන සංචාරකයන් සඳහාම කදුරුකෙත නිවහන සැලසුම් කළ බව එහි නේවාසික කළමනාකාර නමින්ද රත්නායක මහතා පවසනවා. අක්කර හැටක් සිසාරා පැතිර ගිය සරුසාර කදුරුකෙත වෙල්යාය මධ්‍යයේ අක්කර 10ක භූමි භාගයක් පුරා ඉදිකරන ලද කුටි විසිපහකින් එය සමන්විතයි. දෙදෙනකුට නවාතැන් ගත හැකි සුඛෝපභෝගී කාමර වන ඒවා ඍජු විදෙස් ඇමතුම් සේවා, වයිෆයි ඇතුළු සියලුම පහසුකම්වලින් සමන්විත යි. මේ කාමර පිටුපස ඉදිකළ නැරැඹුම් පීඨිකා සියල්ල නිල්වන් ගොයමින් වැසුණු සරුසාර කදුරුකෙත් යායට මුහුණලා පිහිටා තිබෙනවා. එකවර අමුත්තන් 50 - 60කට පමණ මේ කුටිවල නවාතැන් ගැනීමට පුළුවන්. ජෙට්වින් සමූහයේ හෝටල් බොහොමයක් සුඛෝ‍පභෝගී තරු පන්තියේ ඒවා වුවත් ශ්‍රී ලාංකික සංචාරකයන් සඳහා ඒවායෙහි විශේෂ ස්ථානයක් ලබා දීම ජෙට්වින් සත්කාර සේවාවේ කැපී පෙනෙන විශේෂත්වය වන බව නමින්ද රත්නායක මහතා පවසනවා.

කිසිදාක කුඹුරක් ඇස නොගැසුණු, වෙල් යායක් නියරක් කමතක් නොදුටු නාගරික දරුවන්ට කදුරුකෙත නිවහනේදී ඒ සියල්ලම දැකබලා ගන්න පුළුවන්. යල මහ දෙකන්නයේ කුඹුරු වපුරන කාලෙට වගේම අස්වනු නෙළන කාලෙටත් ආවොත් ඒ උත්සව දැකගන්නත් අමුත්තන්ට අවස්ථාව සලස්වා දෙනවා.

කෘෂිකාර්මික ජීවන රටාව හඳුන්වා දෙමින් දෙස් විදෙස් සංචාරකයන් පිනවන කදුරුකෙත සංචාරක නිවහන ඌව වෙල්ලස්සේ ජන දිවිය මොනවට දැක බලාගන්නටත් එහි එන අමුත්තන්ට පහසුකම් සපයනවා. සැබෑ ගැමි දිවියේ තතු සියැසින් දැකබලා ගන්නට ගැමියන් සමඟ කතාබහ කරන්නට, කැමැති නම් ගැමි ගෙදරක ඉදෙන කෑම වේලක රස විඳ බලන්නටත් ඔවුන් අවස්ථාව සලසා දෙනවා. ඒ සඳහා පාපැදි හෝ ත්‍රීරෝද රථ මඟින් ගම වටා යන්නටත් ඔබට පුළුවන්. පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන කදුරුකෙත නිවහන පිහිටි භූමිය තුළට වාහන ඇතුළු කරන්නට අවසර නොදීමත් විශේෂත්වයක්. හෝටලයේ සංකල්පය සොබාදහම සහ කෘෂි සංචරණය වන හෙයින් එහි ඇති බොහෝ ගෘහාලංකරණ භාණ්ඩ කෘෂිකර්මය හා බැඳි ඒවා. දෑකැති වට කොට තැනූ විදුලි ලාම්පු ආවණ, පැරැණි තාච්චිවලින් තැනූ මුහුණ සෝදන බේසම්, පන්කොළ වට්ටි පෙට්ටි, රටා දැමූ පන් පැදුරු කුළු, වැනි ගැමි ගෙදරක භාවිත භාණ්ඩ ඇසුරින් මවන ලද රටා විසිතුරුයි.

එදා වෙල්ලක්ෂයකින් රටට බත සැපයූ ඌව වෙල්ලස්සේ පැවැති ස්වයංපෝෂිත ආර්ථිකයෙහි සෙවණැලි අදත් එහි ඉතිරිව තිබෙනවා. අතීත බොදු සිද්ධස්ථාන හා රාජ්‍යයක නටඹුන් සහිත භූමි ප්‍රදේශ තවමත් ඒ අවටින් හමු වෙනවා. සොබාදම් මෑණියගේ සුන්දරතම දායාදයක් වූ දියඇලි ගණනාවක් ඒ අවට පිහිටා තිබෙනවා. ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද ඇල්ල නරඹන්නට එහි සිට විනාඩි 45කින් පමණ යන්නට පුළුවන්. නිවහනේ සිට විනාඩි 30 - 45 ක් වැනි කෙටි කාලයක් ඇතුළත නැරැඹිය හැකි දුරින් දියලුම, උඩ දියලුම, දුන්හිඳ ඇල්ල, රාවණා ඇල්ල, ඇල්ලේ වල සහ විසාරි ඇල්ල යන දියඇලි පහක් පිහිටා තිබෙනවා.

ඓතිහාසික මාලිගාවිල බුදු පිළිමය හා දෙමටමල් විහාරය, වඳින්නට එහි සිට විනාඩි 45ක් ඇතුළත ඔබට යන්නට පුළුවන්. බුදුරුවගල පුද බිමට විනාඩි 25කින් ළඟා වෙන්නට හැකි අතර යුදගනාව චෛත්‍ය රාජයා පිහිටා තිබෙන්නේ ද ඊට නුදුරින්මයි. සුන්දර ඇල්ල සානුව හා සංචාරක පුරවරය, පුංචි ලෝකාන්තය, රාවණා ගුහාව, දෙමෝදර ආරුක්කු පාලම, හිඟුරාණ සීනි කම්හල මෙන්ම පැලවත්ත කිරිපිටි කම්හල ඒ අවට පිහිටි පහසුවෙන්ම දැකබලා ගැනීමට හැකි ස්ථාන ලෙස හැඳින්වීමට පුළුවන්. යාල උඩවලව හා ලුණුගම්වෙහෙර වැනි වනෝද්‍යාන වෙත පැය 2 - 3ක් ඇතුළත ළඟා වෙන්නට පුළුවන්.

අක්කර 10ක් පුරා පැතිරුණ හෝටල් පරිශ්‍රයෙහි ස්වාභාවික කැලයෙහි හඳුන් දිවියන්, ඉත්තෑවන් මෙන්ම දුලබ සතකු වන හම්බාවන් ද පහසුවෙන්ම දැකබලා ගන්නට පුළුවන්. හෝටලයේ සේවක සගයකුගේ මඟපෙන්වීම ඔස්සේ රාත්‍රී 7 ට ඇරැඹෙන රාත්‍රී පරිසර සංචාරය කවරකු වුවත් ප්‍රිය කරන අලුත් අත්දැකීමක්. නිහඬ වන අරණෙහි නිදහසේ සරණ වන සතුන් මෙන්ම නිශාචර පක්ෂින් ද සියැසින්ම දැක බලාගන්නට එහිදී ඔබට අවස්ථාව ලැබෙනවා. හිමිදිරි අරුණැල්ලත් සමඟ තුටින් රැව් පිළිරැව් දෙන ඒ ප්‍රදේශයටම ආවේණික විහඟුන් රෑන නරඹන්නටනම් අඩු ගානේ උදෑසන 6.30ටවත් ඔබ කුටියෙන් පිටතට එන්නම ඕනෑ. තුරෙන් තුරගට පනිමින් නිදහසේ සැරිසරන විහඟුන් වර්ග 120ක් කදුරුකෙත භූමියේ වාසය කරනවා. ප්‍රදේශයට ආවේණික ගස්වැල් වර්ග 100කට අධික එහි ගෙඋයන අබියස පිහිටි ‘ගජමදාරා’ ගස කදුරුකෙත වලව්වටම උරුම වූ සම්පතක්.

කදුරුකෙතට මායිම්ව රැළි නගා ගලා යන කිරිඳි ඔයේ බැස නාන්නට රිසි අමුත්තන්ට පයින්ම ඇවිද ගොස් දිය නා එන්නටත් පුළුවන්. වෙල් යායට මුහුණලා පිහිටි සුන්දර නාන තටාකයේ ගිලී කඳු වළල්ලට එපිටින් හිරු නැඟ එන අයුරු හෝ බැස යන අපූරුව දැකබලා ගන්නත් ඔබට හැකි වේවි.

ගම්බද නිවෙසක ගෙමිදුලෙහි සැරිසරන ගංකුකුළන් තරමටම මිනිසුන්ට හුරු පුරුදු මොනරුන් හා සෙබඩුන් ගෙවත්තෙහි ඇවිද යන අපූරුව නෙත ගැටෙන මනරම් දසුනක්.

ගැමි දිවිය වී වගාව, අතීත උරුමය දියඇලි සතා සීපාවා විහඟ කැල, සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සමඟ රස නහර පිනා යන ප්‍රණීත දේශීය ආහාරපාන එකට සංකලනය වූ අපූරු සුවපහසු නවාතැන් ලෙස කදුරුකෙත සංචාරක නිවහන හඳුන්වන්නට පුළුවන්. අපේ දේ අගයන - අපේකමට සලකන සරල සුහද සත්කාරක සේවාව එහි යන ඔබට ගෙදර වගේම සුහද හැඟීමක් ගෙන දෙනවා. විදේශීය සංචාරකයන් බහුල නොවන කාලවලට දේශීය සංචාරකයන් සඳහා විශේෂ වට්ටම් හා ප්‍රසාද පහසුකම් ද සලස්වන බව කළමනාකාර රත්නායක මහතා පවසනවා. කාර්යාලයීය වාර්ෂික සුහද සංචාර සහ සාද පවත්වන්නට එහි පහසුකම් තිබෙනවා. සොබාදහම හා පරිසර සුරැකුමට මුල් තැන දෙන හෙයින් රූපවාහිනී ගුවන්විදුලිය හෝ මහ හඬින් නැ‍ඟෙන සංගීත ඝෝෂාවන්ට එහි ඉඩකඩ ඇහිරෙන බවත් ඔහු කියනවා. විද්‍යුත් මාධ්‍ය නැතත් නිදහසේ පොත්පත් කියවන්නට හෝ පොත්පත් ලියන්නට රිසි සංචාරකයන් සඳහා පුස්තකාලයක් මෙන්ම සුදුසුකම් ලත් දේශීය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබන ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද කදුරුකෙත නිවහනේ තිබෙනවා. වැඩි විස්තර 0114709400, යන දුරකථන අංකයෙන් හෝ www.jetwinghotels.com යන විද්‍යුත් ලිපිනයෙන් විමසා දැනගන්නට ඔබට හැකි වේවි.


Wmqgd .ekSu �k�K mqj;a m; weiqfrks
o