179 Views  
හනුමා කරෙන් ‘උස්සන්’ ආ උස්සන්ගොඩට යමු
‘රාම රාවණා යුද්දෙදී රාම කුමාරයා මහ බරපතළ ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒ තමයි රාවණාගේ සේනාව වෙතින් රාම කුමාරයාගේ සේනාවේ විශාල පිරිසක් මරණයට පත්වීම. මේ හින්දා මේ යුද්ධයෙන් රාම කුමාරයාට ලොකු අවාසියක් වුණා.’
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව  නොමැති දකුණු පළාතේ උස්සන්ගොඩ ජාතික උද්‍යානයට හැරෙන ස්ථානයේ ප්‍රධාන පාර අද්දර වෙළෙඳසලකදී අපට හමු වූ හුංගම ආර්.එන්. කේ. සීලවතී මහත්මිය එසේ කීවාය.  
අපි ඇයට තව දුරටත් කන් දුන්නෙමු.
‘ඊට පස්සේ රාම කුමරා මොකද කරන්නේ මැරුණු මිනිස්සුන්ට පණ දෙන්න තරම් බලයක් තියන ඉන්දියාවේ හිමාල වනයේ තියන මෘත සංජීව කියන මහා බලගතු ඖෂධ පැළැටිය හොයාගෙන  එන්න කියලා තමන්ගේ වානර සේනාවේ හනුමන්තාට නියම කළා. හනුමන්තත් මොකද කරන්නේ ඒ වෙලාවේම අහසින් ගිහින් ඒ පැළැටිය  හොයන්න පටන් ගත්තා. ඒත් හදිසියේ එහෙම දෙයක් කොහෙන් හොයන්නද? අන්තිමේ හනුමන්තත් මොකද කරන්නේ  හිමාල වනයේ අර මෘත සංජීව බෙහෙත තියන කඳුවැටියක්   කරෙන් උත්සාගෙන අහසින් ඇවිත් ඔතනට අත හැරියා. හනුමා උස්සාගෙන ආපු ගොඩ හින්දා තමයි මේකට උස්සන්ගොඩ කියන නම බැඳුණේ.’
සීලවතී මහත්මියගේ එම කතා ප්‍රවෘත්තියේ අද්භූත රසය සිත පුරා විඳගත් අපි ඉන් පසු එම සුවිශේෂ බිම් කඩට පිවිසියෙමු.
ඒ 3 දරන කතරගම හරහා වැටීගත් කොළඹ වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ හුංගම පසු කළවිට හමුවන උස්සන්ගොඩ නම් මෙම අසාමාන්‍ය බිම්කඩ පිළිබඳව අදටත් බොහෝ  දෙනෙකු නොදැන සිටියද කලමැටිය අභය භූමියට  මායිම්ව වර්ග කිලෝ මීටර් 3.49 හෙවත් අක්කර 862 පුරා පැතිර ගත් භූමි භාගයක් වන මෙය ශ්‍රී ලංකාවේ විසි එක්වන ජාතික උද්‍යානය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. ඒ 2010 වසරේ දීය.
ශ්‍රී ලංකාවේ අතිශයින් දුලබ තද රතු පැහැති  පස්වලින් යුතු මෙය රාවණා රජතුමාගේ දඬුමොණරය නතර කළ අංගනය ලෙසටද ජනප්‍රවාද තිබේ. එමෙන්ම මානාභරණ හෝ මේඝ වර්ණ නම් රජ කෙනෙකු යුද්ධයට ගිය පසු ලැබුණු වැරදි තොරතුරක් පදනම් කරගත් බිසෝවරුන් සත් දෙනකු සම්බන්ධ  පුරාවෘත්තයක් සහිත මෙම උත්සන්ගොඩ කළුකුමාර වෘත්තාන්තයටද සම්බන්ධය. සමුද්‍රාසන්නයේ පිහිටි මෙම සුවිශේෂ බිම්කඩ පිළිබඳ ඓතිහාසික සහ සාහිත්‍ය මුලාශ්‍ර විමසා බලන විට  කහ කුරුලු සන්දේශය, මංහරහසල්ල, මහසෝන් සමයම, දෙවොල් මඩු ශාන්ති කර්මය වැනි මුලාශ්‍ර වෙත යොමුවීමට අපට සිදුවෙයි.
මෙම උස්සන්ගොඩ භූමි  භාගයේ ඇති තද රතු පැහැති පස පිළිබඳ විමසුම් කළ විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මීට වසර මිලියන දහයකට පමණ ඉහත මෙම ස්ථානයට අභ්‍යවකාශ වස්තුවක් කඩා වැටී ඇති බවය. එමෙන්ම උඩවලව අභය භූමියට අයත් ගිනිහල් පැළැස්ස, ඉඳිකොළ පළැස්ස යන ස්ථානවලත් වස්ගමුව ප්‍රදේශයෙන් මීට සමූහ පස් ඇතැයි කියනු ලැබේ.
ශීඝ්‍රයෙන් සමුද්‍ර ඛාදනයට ලක්වෙමින් පවතින මෙම උත්සන්ගොඩ භූමි භාගයේ මාතාභරණ රජතුමාගේ මාලිගාව තිබූ බවටත් දැනට වසර තිහ  හතළිහක් තෙක් එහි නටබුුන් දක්නට ලැබි දැන්  ඒවා මුහුදු කෑමට ලක්ව ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
උස්සන්ගොඩ ජාතික උද්‍යානයේ දක්නට ඇති මෙම රතු පස් මත කඑඹ, එරමිණියා, පතොක් වැනි සිමිත ශාක කිහිපයක් හැරුණු කොට කිසිදු වෘක්ෂයක් දක්නට නොලැබිමද විශේෂත්වයකි. ඊට හේතු වශයෙන් ඇතැමුන් පවසනුයේ මෙම පසෙහි ප්‍රමාණවත් කැල්සියම් සංයුතියක් නොමැති වීම ඊට හේතුව බවය.
ඒ කෙසේ හෝ කොළඹ සිට කතරගම ආදී ප්‍රදේශ කරා යන එන ගමනකදී හෝ මෙම විස්මිත බිම් කඩට පිවිස එහි හෝරා කිහිපයක් ගත කිරීමට ඔබටත් හැකිනම් අප  රටේ තවත් සුවිශේෂ ස්ථානයක්  දැක බලා ගැනීමේ සතුට, ආත්ම තෘප්තිය නිසැක ලෙසම ඔබටද අත් විඳීමට හැකිවනු ඇත.


Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks
o