66 Views  
'සද්ධන්තයන් ගැවසෙන මනරම් තෝතැන්න' පින්නවල

ඈත ගම්දනවුවල ජීවත් වන මිනිසුන් අලින්ගෙන් එල්ලවන හිරිහැරවලට ලක්ව දුක්විඳින ආකාරය නිබඳවම අපි රූපවාහිනියෙන් දකින්නෙමු. සමහර අවස්ථාවල සිත්පිත් නැති සද්ධන්තයන් මිනිසුන්ගේ ජීවිත පවා අහිමි කරන අවස්ථා තිබේ. අලි මිනිස් ගැටුම් බහුලව පැවැතුනත් අලියෙකු දියේ ගිලී ගොඩ ඒමට වෙර දරන පටු ජාවාරම්කරුවන්ගේ වෙඩි පහරවලට ලක්ව ජීවිතයත් මරණයත් සමග සටන් කරන සද්ධන්තයන් දුටුවිට දුම්රියේ ගැටී මිය ගොස් සිටින ඇතින්නියක, අලි පැටවකු දුටු විට කඳුළක් නගන්නේද ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වන්නේද එම පීඩා විඳින මිනිසුම්මය. එතරම් දුරට අලින් සහ මිනිසුන් අතර ළෙංගතුකමක් තිබේ. නගරබදව වාසය කරන මිනිස්සුද පෙරහරක තේජාන්විතව ගමන් කරන සද්ධන්තයන් දැකගැනීමට මහත් වූ කැමැත්තක් දක්වති. අහම්බයකින් මාර්ගයේ ගමන් කරන හෝ ලොරි රථයකින් ගෙන යන අලියෙකු දුටුවන් ලොකු කුඩා කවුරුත් ඒ දෙස නෙත්යොමා බලා සිටියි. ඒ අලි ඇතුන් දැක ගැනීමේ මහත් වූ කැමැත්තක් නිසාය.

එම කැමැත්ත ඕනවටත් වඩා සන්තර්පනය කර ගැනීම සඳහාත්, කාර්ය බහුල ජීවිතවලින් තරමක් හෝ මිදී විඩාබර මනසට අලි ඇතුන්ගේ චර්යා දෙස බලා හිද යම් සහනයක් ගෙන ඒම සඳහාත් අනාථ වන අලි ඇතුන් රැක බලා ගනු ලබන මෙරට පිහිටි එකම මධ්‍යස්ථානය සොයා මෙවර %සාරවිට^ සංචාරක කණ්ඩායම ගමන් කළේය.

මෙම ඉසව්ව පිහිටා තිබෙන්නේ සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි රඹුක්කන නගරයේ පින්නවල නම් ප්‍රදේශය තුළය. කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ (A-01) කෑගල්ල පසුකර ඉදිරියට යාමේදී හමුවන කරඬුපන හන්දියෙන් හැරී රඹුක්කන මාර්ගයේ කිලෝ මීටර් 08ක් පමණ ගමන් කිරීමෙන් මෙම ස්ථානයට පහසුවෙන් ළඟාවිය හැක. දුම්රියෙන් පැමිණෙන්නේනම්, රඹුක්කන දුම්රිය ස්ථානයෙන් බැස කෑගල්ල දෙසට කිලෝ මීටර් 02ක් පමණ ගමන් කිරීමෙන් මෙම ඉසව්වට ළඟාවිය හැක.

අලි ඇතුන් සම්බන්ධව ජීවි කෞතුකාගාරයක්, ප්‍රදර්ශනාගාරයක් මෙන්ම සංරක්ෂණාගාරයක් ලෙස සුවිශේෂී වැදගත්කමක් දැරීම හේතුවෙන් පින්නවල අලි අනාථාගාරය දේශීයව මෙන්ම, විදේශීයවද ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම පින්නවල අලි අනාථාගාරය අලි ඇතුන් සම්බන්ධව සිදුකරන සේවාව හැරුණු විට දේශීය හා විදේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථානයකි. එම නිසාම පින්නවල අලි අනාථාගාරය මෙරටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන සංචාරක ඉසව්වක් ලෙස හඳුන්වාදිය හැක.

මෙම අලි අනාථාගාරය ආරම්භ කර තිබෙනුයේ 1975 වර්ෂයේ පෙබරවාරි මස 16 වැනි දිනය. මෙවන් ස්ථානයක් ආරම්භ කර ඇත්තේ විවිධ අනතුරුවලට ලක්වන වන අලි ඇතුන්ට රැකවරණය සැලසීම වෙනුවෙනි. ඊට අමතරව රැළ මග හැරෙන අලි පැටවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් මෙය ආරම්භ කිරීමට තවත් හේතුවක් විය. ඒ අනුව එකල වන සත්ත්ව විෂය භාර ඇමතිවරයා ලෙස කටයුතු කරන ලද කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ පී.බී.ජී.කළුගල්ල මහතාගේ සංකල්පයකට අනුව මෙය ආරම්භ කර තිබේ.

අලි පැටවුන් 07 දෙනෙකුගෙන් ඇරඹූ මෙම අනාථාගාරය 1982 වසරේ දී සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට පවරා ගෙන තිබේ. 1984 වසරේ දී මේ තුළ දී පළමු අලි පැටවාගේ ඉපදීම සිදුවිය.

 

2017-07-05-ent-223

 

හුරුබුහුටි අලි පැටවකු වන ඇයගේ නම සුකුමලීය. සුකුමලීගේ දෙමවුපියන් වූයේ %විජයා^ නම් අලියාත්, %කුමාරි^ නම් කෙනරත්ය. අලි පැටවුන් 07 දෙනෙකුගේ ආරම්භ කළ මෙහි වර්තමානය වනවිට කුඩා පැටවුන් සද්ධන්ත කුලේ අලි ඇතුන් 100කට ආසන්න සංඛ්‍යාවක් වාසය කරති. සංචාරක ආකර්ෂණය නොවඅඩුව ලැබෙන මෙම අලි අනාථාගාරය දිනපතාම උදෑසන 8.30 සිට විවෘත කරනු ලබයි. එතැන් සිට මෙහි කටයුතු සිදු වන්නේ කාල සටහනකට අනුවය.

මෙහි වෙසෙන අලි ඇතුන්ට දිය නෑම සඳහා වෙන්කර තිබෙනුයේ උදෑසන 10 සිට 12 දක්වා කාලයත්, දහවල් 2.00 සිට සවස 4.00 දක්වා වූ කාල සීමාවන්ය. මොවුන් දියනෑම සඳහා රැගෙන යනුයේ අලි අනාථාගාරය අසලිම්ම ගලා බසින මා ඔය වෙතය. ඔවුන් අලි අනාථාගාරයේ සිට දිය නෑමට පැමිණීමේදී ඔවුන් ගමන්කරන මග දෙපස සිටින සංචාරකයන් ඉවත් කිරීම සඳහා සයිරීන් නලාවක් වාදනය කරයි. එම නලා හඬත් සමග අලි ඇතුන් දිය නෑම සඳහා එකා පෙළ එකා කඩිමුඩියේ දිව යති. ඔවුන් නැවත උන්ගේ නිවහනට යන විට නම් එම හදිස්සි ගමන නොමැත. එවිට ගමන් කරනුයේ %යන්න බෑ^ කියන්නාක් මෙනි.

කුඩා කලදීම මවගේ සෙනෙහස අහිමිවන කුඩා අලි පැටවුන්ට කෘතිම ලෙස කිරි ලබාදීමට මෙහි පාලන අධිකාරිය පියවර ගෙන ඇත. දිනකට පස්වතාවක් එනම්, උදෑසන 6.30, 9.15, දහවල් 1.15ට සවස 5.00ට සහ රාත්‍රී 8.00ය. එයින් උදෑසන 6.30 සහ රාත්‍රී 8.00 යන වේලාවල් ද්විත්වයේ හැරෙන්නට අලි අනාථාගාරය තුළට පිවිසෙන සංචාරකයන් මොවුන්ට කිරි පොවන ආකාරය දැකගැනීමට අවකාශය සැලසෙයි. ඔවුන්ගේ දඟකාරකම් දෙස බලා සිටීමෙන් හදවතට සතුටක් දැනුණද ඔවුන් ආසාවෙන් ඉක්මනින් කිරි බෝතල් හිස් කරන විට ඇසට කඳුළක්ද නැගෙනු ඇත. ඊට අමතරව මුදල් ගෙවීමක් සිදුකර සද්ධන්තයකුට පලතුරු කැවීමටද මේ තුළ දී අවස්ථාව උදාවේ. එය අලි කුලේ ආසන්නටය ගොස් සිදුකළ හැකි අහඹු අවස්ථාවකි.

මෙහි වෙසෙන අලියන්ගේ දෛනික ආහාර අවශතාවය සපුරාලීම සඳහා ආහාර කිලෝ 20,000ක් පමණ අවශ්‍ය වේ. එම ප්‍රමාණයට පොල්අතු, කොස් අතු, කිතුල් කොට, අට්ටික්කා, බෝ, සියඹලා, පෝටා චෑල් ආදිය අයත් වේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම්, මේ තුළ ජීවත් වන සෑම අලි ඇතෙකුටම නමක් තිබීමය.

මුලින්ම පින්නවලට එක් වූ අලින්ට නම් තබා ඇත්තේ නීලා, කදිරා, මාලතී, ජපුරා, කොමලී, අනූෂා, කුමාරි හා විජය ලෙසිනි. මොවුන්ට නම් තැබීමේදී ඔවුන් හමුවූ ප්‍ර‘දේශය ඔවුන්ගේ හැඩරුව සැලකිල්ලට ගනී. එවැනි ආකාරයට 1996 වර්ෂයේ දී ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමත් සමග 1997 වසරේදී පෙබරවාරි 07 වැනි දින උපත ලද අලි පැටවාට %අර්ජුන^ යනුවෙන් නම් තබා ඇත. එහිදී උපත ලද 50 වැනි පැටවාට නම් තබා ඇත්තේ %කනක^ ලෙසිනි. මෙරට පැවැති කුරිරි යුද්ධය නිම වී රට සාමකාමී වාතාවරණයට පැමිණීමේ සතුට නිමිත්තෙන් 2009 වසරේ සැප්තැම්බර් මස 18 වැනි දින උපන් අලි පැටවා නම් කර තිබෙන්නේ %දිනූදා^ නමිනි.

මෙම අලි අනාතාගාරය වෙත රැගෙන එන අලි පැටවුන් විශේෂ හේතුවක් මත මිස මෙයි පිට කිරීමක් සිදු නොකරයි.

විශේෂයෙන්ම්ම කිසිදු අයුරකින් මොවුන් කිසිදු අවස්ථාවක කැලය වෙත මුදාහරින්නේ නැත. එසේ කැලයට මුදා නොහරින්න මොවුන් හීලෑවී සිටින නිසාය. එලෙස වනාන්තරවලට මුදානොහැරියද සත්ත්ව හුවමාරු වැඩසටහන් හරහා සහ රාජත්‍රාන්තික සබඳතා තර කර ගැනීම සඳහා පවතින රජයේ ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ අලින් වෙනත් රටවල් වෙත ලබාදීමට කටයුතු කරනු ලබයි. එලෙස ජපානය, කොරියාව වැනි රටවල් සඳහා අලි පැටවුන් ප්‍රදානය කර තිබේ.

මෙහි යන සංචාරකයන්ට ආහාර මිලදී ගැනීම සඳහා හෝටල් සංස්ථාවෙන් පවත්වාගෙන යන භෝජනාගාරයක්ද මෙතුළ පවතී. ඊට අමතරව මෙම ඉසව්ව අවට නවාතැන් පහසුකම් ලබාගැනීමටත්, විවිධ වූ ආහාර ලබාගැනීමටත්, මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ හෝටල් ගණනාවක් පිහිටා තිබේ. ඊට අමතරව ඇඳුම්, පැලඳුම් මතක සටහන් ලෙස තබාගැනීමට ගත හැකි විවිධ වූ භාණ්ඩ මිලදී ගත හැකි කඩපිලක් අලින් නෑවීමට රැගෙන යන මාර්ගයේ පිහිටා තිබේ.

එමෙම්ම අලි සමීපයටම ගොස් අලි ඇතුන්ගේ සුපැහැදිලි ඡායාරූප ගැනීමටද මෙහි යන සංචාරකයන්ට අවස්ථාව සැලසේ. ඔබ එහි යන්නේ නම් සෑම විටම අලි ඇතුන්ගෙන් ඈත් වී සිටීමට වග බලාගත යුතුය. අවදානම් ප්‍ර‘දේශවලට ඇතුළුවීමෙන් වළකින්න. දුම්බිමට අවශ්‍ය නම් ඒ සඳහා අවසර තිබෙන ස්ථානවලදී පමණක් එය සිදුකරන්න. කිසිවිටෙකත් ඇලි ඇතුන්ට බාධා වන අයුරින් නොහැසිරෙන්න. එමෙන්ම පරිසරය සුරැකීමට දායකත්වය ලබාදෙන්න. එළැඹෙන පාසල් නිවාඩු සමයේදී දරුවන් සමග මෙහි ගොස් වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබේ. මෙහි යන සංචාරකයන්ට අලි අනාථාගාරය අසලම පිහිටා තිබෙන පින්නවල ඉපැරැණි ගම්මානයත්, සත්වෝද්‍යානයත් නැරඹිය හැකිය.


o