43 Views  
ඇස අසල රළ නඟන සයුරු තෙර නවාතැන Jetwing SEA
වෙරළබඩ සංචරණයට ප්‍රිය කරන දෙස් විදෙස් සංචාරකයන් අතර සුන්දර මීගමු වෙරළ කලාපයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්. සංචාරක ව්‍යාපාරයට සුපතළ පැරණිතම සංචාරක ආකර්ෂණයක් වන මීගම‍ුවේ පිහිටි තරු පන්තියේ හෝටල් අතර වන අපූරු හෝටලයක් ලෙස ‘ජෙට්වින් සී’. සංචාරක හෝටලය හඳුන්වන්න පුළුවන්.

ප්‍රකට ගෘහ නිර්මාණශීල්පියකු වූ ජෙෆ්රි බාවා මහතාගේ සැලැස්මකට අනුව ගොනැඟිලි කොන්ත්‍රාත්කරුවකු වූ හර්බට් කුරේ මහතා විසින් 1972 දී ‘සී ෂෙල්ස්’ නමින් ඉදිකරන ලද මේ හෝටලය එහි මුල් අයිතිකරු වූ මෙලෝෂියස් මහතාගෙන් 1978 දී හර්බට් කු‍ෙර් මහතා විසින් මිල දී ගන්නා ලදුව මෑතක් වනතුරු ම එනමින් ව්‍යාපාරය කරගෙන යනු ලැබුවා.

තරු හතරේ පන්තියට අයත් සුඛෝපභෝගී හෝටලයක් වන ‘සී ෂෙල්ස්’ හෝටලය මෑත කාලීනව සිදු කරන ලද ප්‍රතිසංස්කරණවලින් අනතුරුව ‘ජෙට්වින් සී’ යනුවෙන් නම් කළ බව හෝටලයේ සාමාන්‍යාධිකාරිනී රුකමනී ප්‍රනාන්දු මහත්මිය පවසනවා. වර්තමානය වන විට අධිසුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ සාමාන්‍ය තත්ත්වයේ කාමර 83 කින් ‘ජෙට්වින් සී’ හෝටලය සමන්විතයි. ලබන අගෝස්තු මාසය වන විට සංචාරක මණ්ඩලයේ තරු පහේ හෝටලයක් වීම සඳහා අදාළ වන සුපිරි සේවක නිවාස සංකීර්ණයේ වැඩ නිමවා එය තරු පහේ හෝටලයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයිද සාමාන්‍යාධිකාරීවරිය පවසනවා.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිට කි.මී. 14ක් දුරින් මිනිත්තු 20ක් ඇතුළත ළඟාවිය හැකි තරම් නුදුරින් ‘ජෙට්වින් සී’ හෝටලය පිහිටා තිබෙනවා. කොළඹ සිට කිලෝ මීටර 44ක් දුරින් පිහිටි හෝටලයට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ පැයක් ඇතුළත ළඟා වෙන්නට පුළුවන්.

ලංකාවේ විශාලතම ධීවර වරාය ලෙස සැලකෙන මීගමුව ධීවර වරාය ඔස්සේ දිවෙන මාර්ගයේ ඒත්තුකාල කුඩා පාඩුවේ හෝටල් පාරේ එය පිහිටා තිබෙනවා.

සුපිරි සංචාරක හෝටල්වල සිට තනි කාමරයේ ලැගුම්හල් දක්වා වූ නවාතැන්පොළවලින් සපිරි සංචාරක පුරවරයක් වූ මීගමුවේ ජෙට්වින් සංචාරක සමාගමට අයත් හෝටල් සංකීර්ණ පහක් තිබෙනවා. ඒ අතරින් ‘ජෙට්වින් සී’ හෝටලය සුවිශේෂ වන්නේ මීගමු වෙරළ තීරයේ සුන්දරතම මෙන් ම විශාලතම වෙරළ තීරය එයට මුහුණ ලා පිහිටා ඇති නිසයි. අක්කර දෙකක භූමි භාගයක් පුරා විසිර ඉදිවුණු හෝටලයේ සෑම කාමරයක් ම නිල් සයුරට මුහුණලා පිහිටා තිබීම එහි ඇති විශේෂත්වයයි.

“වෙරළ තීරය අප සතු වටිනාම සම්පතයි. මෙහි එන අමුත්තන්ට එහි අසිරිය උපරිමයෙන් විඳගන්නට සැලැස්වීමත් එය රැකගැනීමත් අපේ අරමුණයි,, සාමාන්‍යාධිකාරිනිය පවසයි.

මෙහි අති සුපිරි (suites) කාමර මෙන්ම සුපිරි (Deluxe) හා සාමාන්‍ය කාමර යන සියල්ල මුහුදු වෙරළට මුහුණ ලා, ඊට සමීපයෙන් ම පිහිටා තිබෙනවා. අති සුපිරි කාමර දෙකක් සුපිරි කාමර 53ක් සහ සාමාන්‍ය කාමර 28ක් ඊට අයත්. අතිසුපිරි කාමර සුඛෝපභෝගී ගෘහභාණ්ඩ ඊටම වෙන්වූ ආලින්දයක්, සඳලු තලයක්, මුහුදු වෙරළට මුහුණ ලූ නාන කාමරයක්, බිත්තියේ සවි කළ විශාල ප්‍රමාණයේ රූපවාහිනි යන්ත්‍රයක්, අන්තර්ජාතික ඍජු ඇමතුම් හා වයි ෆයි සහිත දුරකථන පහසුකම්, තේ පිළියෙල කර ගැනීමට පහසුකම් ඉස්තරම් රට බීම එකතුවක් සහිත කුඩා ශීතකරණයක්, ඉලෙක්ට්‍රෝනික සේප්පුවක් ඇඳුම් මැඳීමට හා ළදරුවන් සඳහා අවශ්‍ය සෑම පහසුකමකින් ම යුතු වන අතර සුපිරි කාමර ද සාමාන්‍ය කාමර ද මේ බොහෝ පහසුකම්වලින් යුක්ත වෙනවා.

හොඳ ම මුහුදු වෙරළ තීරය වගේ ම පළාතේ හොඳම මුහුදු ආහාර අවන්හලද අයත් වන්නේ ‘ජෙට්වින් සී’ හෝටලටය බව එහි ආහාර හා පාලන කළමනාකරු (Food and beverage Manager) අනුර ඒකනායක මහතා පවසනවා. ඔහු පවසන පරිදි ලාංකික ආහාරපාන අන්තර්ජාතික රුචිඅරුචිකම්වලට සරිලන පරිදි රසවත්ව ගුණදායකව හා පිරිසුදුව සකස් කර දීම ‘ජෙට්වින් සී’ මුළුතැන්ගෙයි අරමුණයි. අතීතයේදී යුරෝපීය සංචාරකයන් වැඩිපුර මෙරටට ඇදී ආ අතර වර්තමානය වෙන විට මෙරට සංචාරක වෙළෙඳ‍පොළ චීනය, ඉන්දියාව, බ්‍රසීලය, රුසියාව හා මැදපෙරදිග රටවල් වෙත යොමු වී ඇතැයි ද ඒකනායක මහතා පවසනවා. ඒ අනුව චීන ඉන්දියානු හෝ මෑත පෙරදිග රටවල සංචාරකයන් ගේ රුචි අරුචිකම්වලට අනුව ද ආහාරපාන පිළියෙල කර දෙන බවද ඔහු කියනවා.

මීගමු කලපුව වඩාත් ම ප්‍රසිද්ධ එහි ඇති ධීවර වරාය නිසයි. බෝට්ටුවලින් අල්ලාගත් අලුත් ම අලුත් මාළු තොග අලෙවි කරන ලෙල්ලම හෝටලයට නුදුරින් පිහිටා තිබෙනවා. ලෙල්ලමට ගිහින් තමන්ට අවශ්‍ය මාළු වර්ගය තෝරා ගෙනැවිත් පිළියෙල කරගන්න එහි එන සංචාරකයන්ට කලකට පෙර අවස්ථාව ලැබුණා. දැන් ඒ අවස්ථාව හෝටලයේ සිටම අත්විඳින්නට එහි එන සංචාරකයන්ට ලබා දෙන්නට ‘ලෙල්ලම’ අවන්හල සූදානම්. අවට ප්‍රදේශවාසී ධීවරයන්ගෙන් මිල දී ගත් අලුත් ම අලුත් මාළු තමන් කැමැති පරිදි තෝරාගෙන, තමන් කැමැති ඕනෑම ආකාරයකට පිළියෙලකර එවලේම රසවිඳින්නට දෙන බව හෝටලයේ ප්‍රධාන සූපවේදී මහේෂ් වන්නිආරච්චි මහතා පවසනවා. දෙස් විදෙස් සුපිරි හෝටල රැසක සේවය කර පළපුරුදු සූපවේදියකුවන මහේෂ් පවසන්නේ ජෙට්වින් සංචාරක සමාගමෙහි සේවය කිරීම සතුටක් වන්නේ තරුණ සිතට නැගෙන නව අත්හදා බැලීම් අනුව රසවත් අලුත් පන්නයේ ආහාරපානවලින් අමුත්තන් පිනවන්නට ඔහු ඇතුළු කණ්ඩායමට නිදහස ලැබී ඇති නිසයි. ජෙට්වින් හෝටල් සමූහය හැම විටම පිරිසුදු කෘත්‍රිම රසකාරක නොයෙදූ නැවුම් දේශීය එළවුළු, පලතුරු හා මස් මාංස මෙන් ම සහල් ද ආහාරපාන සඳහා යොදාන්නා බවද ඔහු කියනවා. ජෙට්වින් හෝටල් සමූහයෙහි ඇති තවත් විශේෂත්වය් වන්නේ ඒ වෙත එන සංචාරකයන් සෞඛ්‍යාරක්ෂිත මෙන්ම සුව වඩන ආහාර පානවලින් පිනවීමයි. සීනි, පිටි සහ තෙල් අධික ආහාර අගුණ වන අමුත්තන් සඳහා සුදුසු ආහාරපාන, සම්පූර්ණයෙන් ම මස් මාංසවලින් තොර, අර්ධ මස්මාංස සහිත හා මස් මාංස සහිත යන ත්‍රිවිධ ආකාරයෙන් ම ආහාර පිළියෙල කරන බවද මහේෂ් පවසනවා.

බොහෝ දෙනාගේ ජීවිතයේ සොඳුරුතම සිහිවටනය මංගල දිනය වෙන්න පුළුවන්. ඒ සොඳුරු සිහිනය මල්පල ගන්වාගන්නට අවැසි සියලු පහසුකම් සපයා දෙන්නත් ‘ජෙට්වින් සී’ හෝටලය සූදානම් බව සාමාන්‍යාධිකාරිනී රුකමනී ප්‍රනාන්දු මහත්මිය පවසනවා. ‘ජෙට්වින් සී’ හි ස්පා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ඒ අවස්ථාව ඔබට සලසා දෙනවා. සොඳුරු මනාලියක වීමට පෙරුම් පුරන ඔබේ රූ සපුව අසිරිමත් ලෙස වර්ධනය කරගන්නට එහි ඇති රූපලාවන්‍ය පැකේජ මඟින් ඔබට අවස්ථාව උදා වෙනවා. දින එකේ සිට හත දක්වා වූ සම්පූර්ණ සිරුරු හැඩගැන්වීමේ රූපලාවණ්‍ය පැකේජ වන මේ පැකේජයකට අයත් විශේෂාංග අතර යෝග ව්‍යායාම සහ භාවනා වැඩසටහන් ද ඇතුළත්. සම්බාහන ආයතනය දේශීය වෛද්‍ය විද්‍යා ආයතන‍යේ අධ්‍යාපනය හා පුහුණුව ලත් චිකිත්සකවරියක වන සමන්තා සිල්වා මහත්මිය විසින් මෙහෙයවනු ලබන අතර, පෞද්ගලික මට්ටමෙන් කුඩා කණ්ඩායම් හෝ ආයතනික කණ්ඩායම් වෙත පැමිණ එහි සේවය ලබා දීමටද ‘ජෙට්වින් සී’ හෝටලය සූදානම් බව සාමාන්‍යාධිකාරිනිය පවසනවා.

ඔබේ මංගල උත්සවය විශේෂ තේමාවක් අනුව සැලසුම් කිරීමේ සිට උත්සවය පැවැත්වීම හා මධුසමය දක්වා වූ අවස්ථා සියල්ල සැලසුම් කර දීමටත් ඔවුන් සූදානම්.

රැකියාවට යන නොයන හැම කාන්තාවක්ම රුව රැකගන්න, රුව වඩවාගන්න කැමැතියි. ඒ සඳහා ඉතා උසස් මෙන්ම විශ්වාසන්ත සේවයක් ලබා‍ දෙන්නට අපි සූදානම්” යැයි ද සාමාන්‍යාධිකාරිවරිය කියනවා.

‘ජෙට්වින්’ හෝටල් සමූහයේ පරමාර්ථය දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් හැමටම උපරිමයෙන් ආගන්තුක සත්කාර කිරීමයි. ඒ සඳහා සිය කාර්ය මණ්ඩලයේ හැම දෙනාම ඇපකැප වී සිටින බවත් ඇය කියනවා. එහි එන අමුත්තන් සුවෙන් සතුටින් තබන්නට දිවා රූ වෙහෙසෙන සේවක මණ්ඩලයට ද අමුත්තන් තරමටම හොඳින් සලකා තෘප්තිමත්ව තැබීමෙන් ඒ මෙහෙවර නිතැතින් ම ලැබනෙ බවයි ඇගේ අදහස. හෝටලයේ අපද්‍රව්‍ය කළමනාකරණය, ජීව වායු උත්පාදනය සහ හිරු එළියෙන් තාප ජනනය, පොලිතින් තොරවීම වැනි පරිසර හිතකාමී පියවර රැසක් ක්‍රියාත්මක වන බවද ඇය කියනවා.

මීගමු කලපුව, ධීවර වරාය, කටුනායක ගුවන්තොටපොළ හා නිදහස් වෙළෙඳ කලාපය හෝටලයට ආසන්නතම ආර්ථික මධ්‍යස්ථාන. ලන්දේසි ඇළ හා හැමිල්ටන් ඇළ දිගේ බෝට්ටු සවාරියක් යන්නට හෝ රුවල් ඔරුවක නැගී මහ සයුරේ සවාරියක් යන්නටත්, ආනවිලුන්දාව කුරුලු පරාදීසයේදී මෙන් ම මුතුරාජවෙල කඩොලාන කැලෑවේදීත් ලංකාවට ම ආවේණික කුරුල්ලන් රාශියක් දැක බලාගන්නත් ඔබට පුළුවන්. ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක් වූ අඟුරුකාරමුල්ල පුරාණ විහාරයට එහි සිට විනාඩි ගණනක් තුළ ළඟා වෙන්නට පුළුවන්.

‘පුංචි රෝමය’ යනුවෙන් අනවරත නාමයකින් හැඳින්වෙන මීගමුවේ පෞරාණික වටිනාකමින් යුතු මෙන්ම නවීන පල්ලි 32ක් පිහිටා තිබෙනවා. නත්තල් කාලෙට මේ හෝටල් පාරාදීසය රෝමයේ විසිතුරු නගරයක සිරි ගන්නවා. නත්තල් කාලෙට ගීතිකා විශේෂ පුද පූජා මෙහෙය මෙන්ම පාස්කු සමයට පාස්කු නාට්‍ය බලන්නත් එහි යන ඔබට හැකි වේවි.

වෙහෙසකර දිවියෙන් මොහොතකට බැහැර වෙලා සිතත් ගතත් සුවපත් කරවන සැබෑ සංචාරයක අත්දැකීමක් විඳගන්න ‘ජෙට්වින් සී’ කදිම නවාතැනක්. කුඩා කණ්ඩායම් සඳහා ප්‍රියසාද, උපන්දින උත්සව, කාර්යාලීය සම්මන්ත්‍රණ, වැඩමුළු, සුහදහමු, කෝපි හෝ තේ සංග්‍රහයක් සඳහා ද එහි පහසුකම් තිබෙනවා. පිරිසුදුකමට රසයට මෙන් ම ගුණයට මුල් තැනක් දෙන ආහාරපාන, සුහද උණුසුම් සංග්‍රහශීලී ආගන්තුක සත්කාර මෙන් ම සොඳුරු රුව වඩන, සුව සදන සුවතා මධ්‍යස්ථානයක අත්දැකීම් එකම තැනකදී විඳගන්න ඔබටත් ජෙට්වින් සී හෝටලයේදී හැකිවනු නිසැකයි.

වැඩි විස්තර 94114709400 හෝ 94 31 4933413 - 7 යන අංකවලින් හෝ www.jetwinghotels.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගැනීමට හැකි වෙනු ඇති.


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks
o